Sunday, May 17, 2020

" චන්ද්‍රවංකය " - කෙටි නවකතාව - කසුන් සමරකෝන් ලියයි දෙවන කොටස - කල්පයක හාදුවක්

" චන්ද්‍රවංකය " - කෙටි නවකතාව - කසුන් සමරකෝන් ලියයි 

දෙවන කොටස - කල්පයක හාදුවක් 



එයා මගේ අතින් අල්ලගත්තහම දැනුනේ හරිම සීතලක්. මගේ හිතට දහසක් දේවල් එක සැරේම එන්න පටන් ගත්තා. එයාගේ ඇස් පුදුම විදියට ආදරෙන් බරවෙලා තිබුණේ. යටි තොල වෙනදට වඩා රතුවෙලා. කම්මුල් රෝස පාට වෙලා. හරියට පොඩි කෙල්ලෙක් තමන්ගේ පළවෙනි ක්‍රෂ් කොල්ල ඉස්සරහා ලැජ්ජා වෙනවා වගේ.

"මොකද අයියේ බයවෙලා" සුපුරුදු හඩින් එයා ඇහුවා. මගේ නළලෙන් පහළට කම්මුල් දිගේ දාඩිය බිංදුවක් ගලාගෙන ගියා.

එක සැරේම මගේ හිත දශක දෙකක අතීතයකට දිව ගියා.

**********************************************
පන්ති කාමරේ නුවන් එහා පැත්තේ පුටුවේ වාඩිවෙලා ඉද්දි විද්‍යාව පාඩම උගන්නකොට  ගුරුත්වය හෙවත් G-Force එක ගැන මිස් රූප සටහනක් ඇන්දා. ගුරුත්වය යම් බරකට බලපාන විදිය.  වගේමයි ගර්ෂණය රහිත මතුපිටක දෙයක් ඇදිලා යද්දී  දෙය තුල චාලක ශක්තිය ගැබ්වෙලා තියෙන්නේ කොහොමද කියලා කියලා දුන්නා.

 එතකොට අපි ඝර්ෂණය හෙවත් දෙයක් ඉදිරියට යම් පෘෂ්ටයක යන එකට විරුද්ධව තියන බලය ගැන කතා කළේ  රික්තකයක් තුළ දෙයක් ඉදිරියට යනවා කියලා හිතලා. මොකද වායු ප්‍රතිරෝධය එහෙම මගහරින්න වෙනවා සමහර සමීකරණ වලදී. එතකොට රික්තකයක්  කියන්නේ වාතය රහිත හිස් අවකාශයකදී දේවල් කොහොමද වැඩ කරන්නේ ඇහුවහම ඒකට හරි උත්තරයක් මිස් ළග තිබ්බේ නැහැ.

පස්සේ කාලෙකදී නුවන් භෞතික විද්‍යාව ඉගෙනගනිද්දී මම සිනමාකරණය ඉගෙන ගත්තා. එක මොහොතකදී අපි දෙන්නම කාලය සහ අවකාශය නොමැති තැනක් ගැන කතා කරන්න පටන් ගත්තා.   වෙලාවේ අපි දෙන්නම හොදම සිහියකින් හිටියා කියලා කියන්න බැහැ.  වෙලාවේ නුවන් මෙහෙම කිව්වා.

" මටනම් මේ තියන යථාර්තය අස්සේ දුමක් උරලා ඉන්න එක සැපයි , ඇත්තටම කාල අවකාශ සුළියකට අහුවෙනවට වඩා" අපි දෙන්නා  වෙලාවේ ආතර් සී. ක්ලාර්ක්ගේ 2001 ගැන කතා කර කර හිටියේ.

*********************************

එයා කෙලින්ම මගේ ඉස්සරහ හිටගත්තා. ඊට පස්සේ එයා දාගෙන හිටපු ලස්සන පොඩි හෑන්ඩ් බෑග් එකෙන් පොඩි වළල්ලක් වගේ දෙයක් ගත්තා. ඒක රබර් වලින් හදපු ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එකක්. හරි ලස්සන රත්තරන් පාටක් තිබුණේ. එයා මගේ වම අත අල්ලලා  බෑන්ඩ් එක දැම්මා. එහෙම දැම්මහම  බෑන්ඩ් එක ඇතුලේ නිල්  සහ රතු පාට එළියක් කැරකි කැරකි යන්න පටන් ගත්තා. එයා  බලා හිටියේ  පොඩි ළමයෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ. මම  වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිවයි හිටියේ.

" දැන් හරි" එහෙම කියපු ඇය එක සැරේම අඩියක් පිටිපස්සට තිබ්බා.

 අපි හිටපු තැනින් පහළට ,  කියන්නේ පේමන්ට් එකෙන් පාරට.

"මෙහෙට එන්නකෝ" එයා මට කිව්වේ අත දිගු කරන ගමන්. මම ආපහු වටපිට බැලුවා. තවමත් මගේ වටේ සියල්ලම ගල්වෙලා අපි දෙන්නා ඇරෙන්න. මීටර් සීයේ තරගයක් ඉවර කළා වගේ මගේ පපුව වේගයෙන් ගැහෙනවා.  වගේම දාඩියෙන් මාව තෙත්වෙලා. මේ සියල්ලම වෙන්න තත්පර ගණනකුයි තාම ගතවෙලා තියෙන්නේ.

මම එයාගේ අත අල්ලගෙන පේමන්ට් එකෙන් බැස්සා. තාම චූටි කෙල්ල අයිස් ක්‍රීම් එක අතේ තියන් මට දිව දික් කරපු ගමන්. හැබැයි දැන් මම රෙස්ටුරන්ට් එකේ පුටුවේ නැති නිසා එයා දිව දික් කරන් ඉන්නේ හිස් පුටුවකට. මගේ ඔලුවේ ප්‍රශ්න ගාණක් ආපහු කැරකෙනවා.  එක්කම එයාගේ පර්ෆියුම් එකේ සුවද දැනෙන්න ගත්තා.

" අපි යමු " එයා  වම්  අතින් මගේ දකුණු අත  අල්ලාගෙන හිටියා.

 එක්කම එයාගේ දකුණු අත උඩට උස්සලා ඇගිල්ල අහසට දික් කරලා කතිරයකට කිට්ටු හැඩයක් අහසේ ලිව්වා.අනතුරුව පරිකල්පනයෙන් අදින රවුමක් වගේ දෙයක් අන්දා .

 මොහොතේ එයාගේ හුස්මත් හරිම වේගවත් වුණා කියලා මට දැනුනා.  එක්කම එයා මාව හරිම හයියෙන් අල්ලගත්තා. මොහොතකින් හරිම සැහැල්ලුවක් මට දැනෙන්න වුනා.  එක්කම මගේ ලේ ගමනේ අක්‍රමවත් බවක් දැනුනා . මගේ අභ්‍යන්තර සංවේදනා වල දැඩි වෙනසක් ඇතිවේගෙන එනවා වගේ දැනෙන්න වුනා.

 අමුතු හැගීම එක්කම වගේ ,අපි මුහුණලා හිටපු රෙස්ටුරන්ට් එක වෙනස්වෙන්න ගත්තා. රෙස්ටුරන්ට් එකේ හැඩය එහෙමම තියෙද්දී පොලව ඉස්සෙනවා වගේ දැනුණා. ටික වෙලාවක් යනකොට රෙස්ටුරන්ට් එක මගේ ඇස් මට්ටමෙන් උඩට ගිහින් තිබ්බේ පොළව  එක්කම. පොළවේ වක්‍රතාවයක් වගේම යම් චංචල බවක් ඇතිවුණා.ඒත් ඒක භුකම්පනයක් වගේ දරුණු දෙයක් නෙවෙයි. මට දැනුනේ හරියට මම කන්දක් පහළ ඉන්නවා වගේ. එතකොට කන්ද උඩ තියෙන්නේ මොකක්ද කියලා මම කල්පනා කළා. හැබැහි මගෙන් උඩට ගියපු හෝටලේ මට ඇතුලත සහ පිටත පේන්න ගත්තා කැබලි වලට වෙන්වෙලා . හරියට පාර දෘශ්‍ය වෙලා වගේ.  එක්කම මට තේරුනා මගේ වටේ සෑහෙන්න සීතලක්.

මම වට පිට බැලුවහම පේන්න ගත්තේ මගේ දෙපැත්තෙන් නුවර එළිය වැවේ  කෑලි කෑලි අහසට එකතු වෙනවා වගේ. මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැති මට්ටමක් ඇවිත් තිබුනේ. කොටින්ම මම හිටපු නුවර එළිය ටවුන් එකම මගේ වටේ බිල්ඩින් බ්ලොක්ස් වගේ කෑලි කෑලි කැඩිලා. හැම දෙයක්ම පරිමාවෙන් පොඩි වෙලා වගේ. හරියට අපි හිටපු රෙස්ටුරන්ට් එක බල්ලෙක්ගෙ කූඩුවක් තරමට පොඩිවෙලා.  වගේමයි නුවර එළියේ වැව පිහිනුම් තටාක කිහිපයක් තරමට ප්‍රමාණෙන් අඩුවෙලා. හැබැයි මුළු ටවුන් එකම නතරවෙලා. හරියට රෑක ඇදුම් කඩේකට ගියාම ඇදුම් අන්දපු බෝනික්කෝ තැන තැන ඉන්නවා වගේ. හැබැයි ප්‍රමාණෙන් වෙනස් වෙලා.

"අපි ඉන්නේ ඇලිස්ගේ විශ්මලන්තෙද?" මට අහන්න පුළුවන් උනේ එච්චරයි.

" අපි ඉන්නේ මගේ ලෝකේ" එයා කිව්වේ හිනාවෙන ගමන්. එයා මගේ දිහාවට හැරිලා හරිම සැහැල්ලුවෙන් කිව්වේ.

 මොහොතෙත් අපි වටේ දේවල් ආපහු වෙනස්වෙන්න ගත්තා. තත්පර ගණනාවක් යනකොට මුළු නුවරඑළිය ටවුන් එකම මගේ ඉස්සරහ සෘජු වගේ පෙනෙන වක්‍රයක ස්ථානගත වෙලා තිබුණා. කලින් තිබුණ අක්‍රමවත් බවත් නැතිවෙලා .

 මගේ ඔලුවට ඉහළින් ලොකු ආලෝකයක් කැරකෙමින් තිබුනා. කහපාටට. ඒක මොකක්ද කියලා මට හරියට වැටහීමක් තිබුණේ නැහැ. වෙනකොට  අපි  හිටගෙන හිටියේ සමතලා බිමක.  වටේ පරිසරය හරිම අමුතුයි. හරියට අපි පොඩිකාලේ කලිඩස්කෝප් එකකින් බලනකොට සමමිතික පැති ගණනාවක් පේනවා වගේ තැන තැන ලොකු ආලෝක කදම්භ තිබුණා.  වගේමයි අපි දෙන්නා හිටපු තැනට පොඩ්ඩක් එහායින් බැලුම් බෝල වගේ ජ්‍යාමිතික නොවන හැඩ ඉහළට සහ පහළට යනවා. පොඩි එකෙක් සෙල්ලම් කාර් දිහා බලා ඉන්නවා වගේ මම  දිහා බලාගෙන හිටියා.  එක්කම කෙනෙක් කතා කරනවා ඇහුනා. මට ඇහුනේ හඩ  විතරයි.

"උමා , ඔය දරුවට බොන්න මොනවහරි දෙන්න" කටහඩ ඇහුනේ මගේ පිටිපස්සෙන්.

"අයියේ , මගේ අම්මා, එයා ඔයාට හරි කැමතියි"

" අම්මා? මට කටහඩ ඇහුනේ ඇත්තටමද?" මම ව්‍යකුලව ඇහුවා. මම කටහඩ ඇහුන පිටිපස්සට හැරුනා. මට මුකුත් පෙනුනේ නැහැ. ඒත් එක සැරේම රෙද්දක් වගේ දෙයක් ඇවිත් ආපහු නොපෙනී ගියා.

"අම්මා මෙතන ඉන්නවා" උමා කිව්වේ රහසක් කියනවා වගේ.

" මෙතන?" මම ආපහු පිටිපස්ස බලන්න අංශක 180ක්ම  හැරුණා.

" නැහැ අයියේ මෙතන" එයා ආපහු මාව හැරෙව්වා.

මේ මොන ප්‍රහේලිකාව අස්සකටද මාව වැටුණේ කියලා මම කල්පනා කරන්නට වුනා.

" අම්මේ පොඩ්ඩක් මගේ තැනට එන්න" උමා කිව්වේ එයාගේ එහා පැත්ත බලාගෙන.

 එක්කම අවකාශය හරහා රතු පාටට හුරු ලුමිනස් පාට රෙද්දක්  ක් මතුවුණා. හරියට කොඩියක්ඒ බාගෙට දික් කරලා හුළගට වනනවා වගේ. රෙද්ද ඊට පස්සේ හැඩයක් බවට පත්වෙන්න ගත්තා. හරියට පිම්බිලා තියන බැලුමක් වගේ. ඊට පස්සේ  බැලුම මිනිස් ස්වරුපයක් ගත්තා. එතන මැදි වයසේ කාන්තාවක් මතු වුණේ අහසින්.  කාන්තාව ගවුමකට හුරු ඇදුමක් ඇදගෙන හිටියේ . මගේ අත්  දෙකම වෙවුලන්න පටන්ගෙන තිබුනා.

" ඊයේ උමා කිව්වා ඔයාව දාල ආවා කියලා, මම ඒකට හරියට දුක් වුනා පුතා" ඇය කතා කලේ හරිම මෘදු හඩකින්.

අවකාශය හරහා මට එකවර අසන්නට ලැබුණේ මේ හඩමයි. ඇය එකවරම මගේ ඉස්සරහට ඇවිත් මාව ලෙන්ගතුකමින් බදාගත්තා.

"අද රෑට කාල යන්න එන්න " ඇය කිව්වේ මගේ මුහුණ බලන ගමන්. " දුව උමා, මේ දරුවගේ අඩ්රිනලින් පිස්සු හැදෙන වේගයකින් ගමන් කරන්නේ, මෙයා විජලනය වෙන්න කලින් බොන්න දෙයක් දෙන්න" ඇය උමාට කිව්වේ අණක් විදියට. " පුතා රෑට එන්න අනිවාර්යයෙන්, අපේ ගෙදරට අමුත්තෝ වැඩිය එන්නේ නැහැ, මම යනවා" ඇය එහෙම කියලා උමා දිහා බැලුවා.
"උමා ඔයා දන්නවා ඇති නේද ඔයා කරන්නේ මොකක්ද කියලා, දෙවන වගන්තිය කඩනවනම් ඒකට සාධාරණ හේතු කියන්නත් වෙයි"

එයා කළේ අම්මා කියපු දේට හිනාවෙන එක විතරයි. උමාගේ අම්මා මගේ දිහාවට හැරිලා හිනා වුනා. ඒක මගේ හදවතට  පුරුදු සරල හිනාවක්.  එක්කම ඇය අඩියක් ඉස්සරහට තිබ්බා. ඉස්සෙල්ලා වගේම බැලුමක් වගේ අහසට ක්ෂය වෙලා යන්න වුණා. අන්තිමටම  ඇගේ ඇදුමේ කොටස ආකාශයට අතුරුදන් වුනා.

"මගේ අයියේ, ඔයාගේ හැටි බලන්නකෝ" උමා කිව්වේ මගේ ළගට ඇවිත් හිසකෙස් හරහා අත යවන ගමන්. මට යම් සහනයක් දැනුනත් ඔලුවේ හැම නහරයකම ලේ ගමනය පැහැදිලිව දැනෙන්න ගත්තා. "මේ බලන්නකෝ"

එහෙම කිව්ව උමා දකුණු අතින් අහසේ තියන දෙයක් ගන්නවා වගේ අවකාශයට අත  දැම්මා.  එක්කම අතේ මැණික් කටුව වෙනකන් අහසේ නොපෙනී ගියා. එක  තත්පරයක්වත් යන්න කලින් පොඩි කණ්නාඩියක් එක්කම අත  මතුවුණා. ඒක හරියට මීට කාලෙකට කලින් ඩේවිඩ් බ්ලේන් අහසින් කාඩ් මතු කරන මැජික් එක කළා වගේ. උමා මගේ මූණ ඉස්සරහට කණ්ණාඩිය ගෙනාව.

මගේ මූණ හොල්මනකට භය වෙලා වගේ සුදුමැලි වෙලා තිබුණේ.

"අපි පොඩ්ඩක් ඉදගමු" එයා එහෙම කියලා මගේ ඇත අල්ලගත්තා.

 එක්කම ආපහු දේවල් වෙනස් වෙන්න ගත්තා. අපි වටේ දේවල් නිර්මාණය වෙන්න ගත්තා. ටික වෙලාවක් යනකොට අපි දෙන්නා  හිටගෙන හිටියේ මීට කලින් කෝපි බිව්ව කොෆී ෂොප් එක ඉස්සරහා. අපි දෙන්නා වාඩිවෙලා හිටපු පුටු දෙක ගාව. එයා මට අතින් සංඥා කළා වාඩිවෙන්න කියලා. මම වාඩි  වුණා. මේස උද තිබුණ  කෝපි කෝප්ප දෙකෙන් දුම් දම දමා තිබ්බේ. මම ඉස්සරහා බැලුවා. අපි හිටගෙන ඉන්නකොට මට කෙළින් අංශක 90 කෝණයකින් තිබ්බ නුවරඑළිය ටවුන් එක දැන් එතන නැහැ.  වෙනුවට තියෙන්නේ වෙනත් අවකාශයක්. හරියට කොළබ නගරය වගේ ලොකු නගරයක්.

" අපි ඉන්නේ හතරවෙනි මානේ තැනක නේද?" මම සිතුවිලි එකතු කරගෙන ඇහුවා. උමා ලස්සනට හිනා වුනා. ඉර බැහැගෙන යන වෙලාවකයි අපි හිටියේ. ලා හිරු එළිය යන්තම් උමාගේ රෝස කම්මුල් වල වැදිලා ඇගේ ලස්සන තවත් වැඩිකළා.

"ඔයා හිතන්න පටන්ගෙන, අපි ඉන්නේ කාලය සහ තුන්වෙනි මානයෙන් එහා තැනක" උමා කිව්වේ මගේ  කෝපි කෝප්පෙට සීනි ටිකක් එකතුකරන ගමන්. "අපි ඉන්න මානේ මොකක්ද කියන්න අපිටවත් තාම හැකියාවක් නැහැ, ඒත් කාලෙකට කලින් අපේ ගොඩක් අය ඒක හොයන්න ගත්තා, ඔයාලා හොයනවා වගේ, ඉතින් මම දන්නේ මෙතනින් මෙතනට යන්නයි , කාලය එක්ක සමහර තැන්වලට යන්නයි විතරයි"

"එතකොට ඔයා  මම ඉන්න තලයට ඇවිත් හිටියේ කොහොමද?"

" අයියේ ප්‍රශ්නේ අහන්න ඕනි ඔයා මම ඉන්න පැවැත්මට ආවහමයි"

උමා එක සැරේම පුටුවෙන් නැගිටලා මගේ දෙතොල් මත දෙතොල් තිබ්බා. කාලය හෝ අවකාශය හෝ මානය හෝ පැවැත්ම හෝ කිසිම දෙයක්  මොහොතේ මගේ ඔලුවට ආවේ නැහැ.මගේ ඔලුවට ආපු එකම දේ ඇගේ ආදරේ මගේ හදවතෙයි මොළෙයි දුවන විදිය විතරයි.  උණුසුම් හාදුව කල්පයක් කාලයක් තිබ්බනම් කියලා හිතුනා. එහෙම හිතද්දීම එයා ආපහු වාඩි වුණා. " මම භයම ඔයාගේ ආදරේ අස්සේ අතරමං වෙන්න" එයා කිව්වේ හරිම ශාන්ත කටහඩකින්. ඊට පස්සේ ලොකු කතාවකට මුල පුරන්න වගේ එයා මගේ අත අල්ලගත්තා.

"අයියේ පොඩ්ඩක් බලන්න, අපි ඉන්න තැන"

මම වටපිට බැලුවා. අපි හිටියේ නුවරඑළිය කොෆී ෂොප් එකේ එළියේ. ඒත් කළින් හිටපු අය එතන නැහැ. මන් බැලුවා චුටි කෙල්ලයි, වැඩිහිටි ජෝඩුවයි ඉදියි කියලා.  කවුරුවත් නැහැ.  වෙනුවට වෙන අය ගොඩක් ඉන්නවා.

" අයියේ අපි දෙන්නත් ඇතුලේ වැඩිවෙලා ඉන්නවා" උමා කිව්වේ රහසක් කියනවා වගේ.

"අපි දෙන්නා?" මම විශ්මයෙන් ඇහුවා.

"ඔව් අවුරුදු ගාණකට කලින්, UK යනවා කියලා ගෙදර යන්න කලින් මමයි, ඔයයි දෙන්නම ඉන්නවා මේ වීදුරුවෙන් එහා පැත්තේ, තාම පරණ මට UK යන්න  කියන්නේ ගෙදර යන්න වෙලාව ඇවිත් නැහැ, පොඩ්ඩක් බලන්නකෝ"

මම වීදුරුවෙන් ඇතුළත බැලුවා. උමායි මායි හොට්  චොකලට් දෙකක් බොන ගමන් ඇතුලේ කතා කරකර ඉන්න ඉරියව්වෙන් ගල් ගැහිලා. ඒත් මට ශබ්දයක් ඇහෙනවා  පරණ උමාගේ ඔරලෝසුවේ තත්පර කටුව තත්පරයකට වඩා වැඩි  පරතරයක් තියලා 'ටික්' හඩක් දෙනවා.

ඊළග කොටසට

2 comments: